
Wathsala Balasooriya | වත්සලා බාලසූරිය
“මම කවුද, කොහෙන් ආපු එකෙක්ද කියා නොදැන මට ළං වෙන්ඩ බය නෑ? ‘’ ගිරිමේඛල සැහැල්ලු බැල්මකින් බැලුවාය. “මට එව්වා හිතන්ඩ මතක් වුණේ නෑ. වෙදකමට ඒවා අදාළ නෑ නෙව…" කුමාරයාට හිනාවක් නැගිණි. “එතකොට මේ වෙදකමක්ද?” “නැතුව…… ආදරේ තරම් දෙන්ඩ පුළුවන් හොඳ වෙන බෙහෙතක් තියෙනවද, මනුස්සයෙක්ට?” ගිරීමේඛල කියන්නේ බොරු නොවන වග කුමරු දන්නේය. කොහොම වෙතත්, රටේ මහරජ්ජුරුවන්ගේ පුත්‍රයා තමාට උමතුවෙන් මෙන් ආලය කරන වග දැනගන්නා මොහොතේ ගිරිමේඛල නම් පුදුම වන වග කුමරු දැන උන්නේය. ගිරීමේඛල ආයෙමත් අනෙක් පස හැරුණාය. කුමරුගේ අතක් ගෙන තමා වටේට වෙළා ගත්තාය. “මට කවදාවත් බැරිවෙයි අමතක කරන්ඩ…” ගිරිමේඛල අඩවන් වූ දෑසින් කෙඳිරුවාය. නිදිබර හඬ තුළ තිබුණේ අමුතුම අලංකාරයකි, ශෘගාරයකි. “මොකක්ද?” “ඒ මොහොත… ඒ විල… මේ රෑ… ඔයා… මම මළත් දවසක ඔය විල ගොවට එනවා උඹ හොයාන. ඉන්ඩ ඇහැකිද මම එනකන්?” ගිරිමේඛල නිදිමතේම කෙඳිරුවාය. “මේ ලෝකෙ ඕනෙ දිය තොටක උඹ එනකන් බලන් ඉන්න ලෑස්තියි මම…" කුමාරයාද යාන්තන් කෙඳිරිගෑවේය.